Monday, February 17, 2014

රෙජී රුද්‍රිගු මහතා (එල්ලේ රජා)

ක්‍රීඩාවේ උන්නතියට සුවිශාල මෙහෙවරක්‌ කළ
"එල්ලේ රජා" දැයෙන් සමුගනී

එල්ලේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට පුරෝගාමී මෙහෙවරක්‌ කළ 'එල්ලේ රජා' ලෙසින් විරුදාවලිය ලත් ප්‍රවීණ එල්ලේ ක්‍රීඩකයකු පුහුණුකරුවකු විනිශ් චයකරුවකු හා එල්ලේ ක්‍රීඩා සංවිධායකවරයකු වූ රෙජී රුද්‍රිගු මහතා පෙරේදා (8 වැනිදා) පස්‌වරුවේ එඬේරමුල්ල රෝමානු කතෝලික සුසාන භූමියේදී සදහටම දැයෙන් සමු ගත්තේය.
කලක්‌ රෝගාතුරව සිටි ඒ මහතා පසුගිය 6 වැනිදා තමන් දැඩි සේ ආදරය කළ එල්ලේ ක්‍රීඩාවෙන් පමණක්‌ නොව සිය බිරිඳ, දරුවන් සිවුදෙනා, ඥති මිත්‍රාදීන් හා හිතමිතුරන්ගෙන් සමුගෙන සිය ජීවිත ගමන නිමා කොට තිබිණි. මියයන විට 78 වැනි වියේ පසුවූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල එඬේරමුල්ල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරිණි. 1933 නොවැම්බර් 3 වැනිදා කොළඹ තොටළඟ ප්‍රදේශයේදී මෙලොව එළිය දුටු රෙජී රුද්‍රිගු හංවැල්ල යට්‌ටෝවිට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගැනීමෙන් අනතුරුව කදාන ද මැසනඩ් විද්‍යාලයට ඇතුළු වී පාපන්දු හා ක්‍රිකට්‌ කණ්‌ඩායම්වලට බැඳි දස්‌කම් පෑමට සමත් විය. 
    එවකට විද්‍යාලයේ අතිශයින් ජනප්‍රිය වූ එම ක්‍රීඩාවලට සහභාගි වෙමින් සිය ක්‍රීඩා කුසලතා වර්ධනය කොටගත් ඔහු තම තරුණ කාලයේදීම වෙල්එළියට පමණක්‌ සීමා වූ එල්ලේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක්‌ ගැන සිතන්නට විය. එවකට පිළිගත හැකි නීති රීති මාලාවක්‌ හෝ සම්ප්‍රදායක්‌ හෝ නොතිබූ එම ක්‍රීඩාවේ ව්‍යාප්තිය සඳහා පොදු නීති මාලාවක අවශ්‍යතාව වටහා ගත් ඔහු තමන් විසින්ම සකස්‌ කළ නීති මාලාවක්‌ අනුව එල්ලේ තරගාවලියක්‌ පැවැත්වීමට කටයුතු කළේය. 1961 වර්ෂයේදී පිහිටුවා ගත් කදාන එක්‌සත් තරුණ සංගමය මගින් පිට පළාත්වල තිබෙන ක්‍රීඩා කණ්‌ඩායම් 58 ක්‌ කැඳවා කදාන ද මැසනඩ් පිටියේදී පුරා දින තුනක්‌ පුරා පැවැත්වූ එම තරගාවලිය එම දින තුන තුළම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව මගින් සජීවීව විකාශය කිරීමට මඟ විවිර කර ගැනීමම ඔහුගේ සංවිධාන ශක්‌තිය මනාවට කියාපාන්නක්‌ විය. ප්‍රථම වරට ලකුණු පුවරුවක්‌ පිටිය මැද තබා කාටත් දැනගත හැකි පරිදි ලකුණු සටහන් කිරීම සහ දැවීම් සඳහා රතු කොඩියත්, ලකුණු ලබා ගැනීම් සඳහා සුදු කොඩියත් භාවිත කළ එම තරගාවලියෙන් පසුව එල්ලේ ක්‍රීඩාවට නව ජවයක්‌ ලැබී තිබිණි.  
       ලංකාදීප ක්‍රීඩා කතුවරයකු ලෙස කටයුතු කළ සේන ගුණසේකර, රෙජිනෝල්ඩ් කබ්රාල්, ටී. ඩී. සෙබස්‌තියන් වැනි එල්ලේ ක්‍රීඩාවට ලැදියාවක්‌ දැක්‌වූ පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ ටයිම්ස්‌ මන්දිරයේදී 1962.3.25 වැනි දින ආරම්භ කළ සමස්‌ත ලංකා එල්ලේ සම්මේලනය රෙජී රුද්‍රිගුගේ එක්‌ සිහිනයක්‌ සැබැ කිරීමක්‌ විය. 
        එලෙස එල්ලේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සුවිශාල සේවයක්‌ කළ රෙජී රුද්‍රිගුගේ වියෝව එල්ලේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කළ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයට තවත් එක්‌ වියෝවක්‌ පමණක්‌ වී තිබු බව ඔහුගේ අවසන් කටයුතු අවස්‌ථාවේදී පසක්‌ විය. ශෝක ප්‍රකාශ බැනරයක්‌ හා මල් වඩමක්‌ ගෙනවිත් තබාගොස්‌ සිය වගකීම නිමා වී ඇතැයි සිතා තිබූ එල්ලේ සම්මේලනය එල්ලේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔහු කළ අනුපමේය සේවයට ගරු කිරීමක්‌ ලෙසවත් අවසන් කටයුතු සිදු වූ මොහොතේ හෝ තම සම්මේලනයේ වගකිව යුතු නිලධාරියකු හෝ විධායක සභිකයකු හෝ සහභාගි කරවීමට අමතක කොට තිබිණි.

උපුටාගැනීම -  දිවයින පුවත්පත
ලිව්වේ - ඒ. ඡේ. ඒ. අබේනායක

No comments:

Post a Comment